Wednesday, February 16, 2011

අසිරිමත් නවම් පොහොය


සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය
                 ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු වූයේ එවන් දිනකදීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයා හට ඕවාද ප්‍රාතිමෝක්ෂය, දේශනා කොට වදාළේ ද නවම් පුනු පොහෝ දිනකදීය.
                                                                                                                                          එමෙන්ම තථාගයන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තුන් මසකට පෙර ආයුසංස්කාරය කළේත් නවම් පුනු පොහෝ දිනකදීය.

සම්බුද්ධ ශාසනයෙහි මෙවැනි වූ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නවම් පොහෝ දිනය බොදුනුවන්ට විශේෂිත වූ ශාසනික වශයෙන් වැදගත් වන දිනයකි. මහා කාරුණික තථාගත බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට පිළිවෙළින් දකුණත් සවු සහ වමත් සවුයන ශාසනික තනතුරු පිරිනැමීම අප මනාව දන්නා සදහම් කාරණයකි. ඒ සඳහා උන්වහන්සේ දෙපළ සසර මහත් පාරමී පිරූහ.

                බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමය උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් දහසක් ද, සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් ප්‍රධාන කොටගත් දෙසිය පනහක් භික්‍ෂූන් වහන්සේ ද යන එක් දහස් දෙසිය පනහක් මහ රහතන් වහන්සේගෙන් සෝභාමත් විය. මේ භික්‍ෂූන් වහන්සේ පිරිස අතරේදී සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් හට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදුවිය.

            බුදු සසුනෙහි මුලින් පැවිදි උපසම්පදා ලත් භික්‍ෂූන් වහන්සේ සිටියදී තථාගතයන් වහන්සේ විසින්, මෑත කාලයේ බුදුසසුනෙහි පැවිදි උපසම්පදා ලත් මේ සැරියුත් හා මුගලන් හිමිවරුන්ට අග්‍රශාවක තනතුරු පිරිනමන ලදැයි සමහර භික්‍ෂූන් වහන්සේ අතර කතාබහක් මතුවිය.

                      
නවම් පොහොය දිනය අපට වැදගත් වන අනෙක් විශේෂ කාරණය නම් බුදුන්වහන්සේ ආය සංස්කාරය හළේ නවම් පොහොය දිනකදී වීමයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපල චෛත්‍ය වෙත එළඹුණ සේක. එහි වැඩම කර පැනවූ අසුනෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද හිමියන් අමතා සතර සෘද්ධිපාද වැඩු තැනැත්තහුට කැමැති නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි බව තෙවරක්ම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන්ට මාරාවේශය වී සිටිය හෙයින් සිහි එළවා ගත නොහී ආයුකල්පයක් වැඩ සිටිනා මෙන් බුදු හිමියනට ආරධනා කරන්නට අමතක විය.

ඉන් පසු නොබෝ වේලාවකින් වසවත් මරුන් බුදුරජාණන් වහන්සේ වෙත ළඟා වී නුඹ වහන්සේට පරිනිර්වාණයට කාලය මෙය යැයි දන්වා සිටීය. බුදුරජාණන් වහන්සේ වසවත්මරුන් අමතා ප්‍රකාශ කළේ එතැන් පටන් තුන් මසක් ගත වූ තැනදී පිරිනිවන් පානා බවයි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ සේක. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ එ කෙණෙහිම මහ පොළොව කම්පා විය. අහසෙහිද ගිගුරුම් ඇති වන්නට විය.
මෙවැනි කරුණු කාරණා හේතුවෙන් නවම් පොහොය බෞද්ධයනට සුවිශේෂ වැදගත්කමක් ගෙනදෙයි.
***බුදුසරන පුවත් පත් අසුරිනි***




No comments:

Post a Comment