Monday, February 7, 2011

"පන්සිල් බුද්ධ දේශනාවක්‌ නොවේ" 2011-02-07 දිවයින පුවත්පතේ ලිපිය..........

මෙම  ලිපිය  අන්තර්ජාලෙ මිතුරු මිතුරියන්ගෙ අදහස් දැන ගන්න සහ මේ ගැන සංවාදයක් ඇති කරන්න.... .මේ ගැන ඔබගේ අදහස් තියෙනව නම්  කමෙන්ට් එකක්  දාන්න............
  
                           2011-01-12 දින ඔබ පුවත්පතේ පුවතක පසුබිම යටතේ පළ වූ "බුදු සිරිත හා බුදු දහම විකෘති කිරීම" නම් ලිපියට එකී ලිපියට පාදක වූ කෘතියේ කතුවරයා වශයෙන් මාගේ දැඩි විරෝධය පළ කරමි, ශ්‍රී ලංකාවේ පවතින නිර්මල බුදු දහමට නිගා කෙරෙන නා නා ප්‍රකාර බලවේග අදටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව සැබෑය. නමුත් මෙම කෘතිය ඒ කොටසට ඇතුළත් කිරීම විවිධ පුද්ගලික සංකල්ප හා මතවාදවලින් ගහන වත්මන් බෞද්ධ ධර්මය හා බෞද්ධ සාහිත්‍යයට සැබෑ ඇල්මක්‌ දක්‌වන්නවුන්ට නොකළ හැක්‌කකි. ඒ මන්ද යත් අද වන විට අප ඉගෙන ගන්නා අසන දකින බුද්ධ ධර්මය අවුරුදු 2000 ත් ඉක්‌ම ගොස්‌ තිබෙන එදා මෙදා තුර නොයෙක්‌ පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද මතිමතාන්තර එක්‌ නොවන්නට ඇත්දැයි කාට වුවද පැහැදිලි සහතිකයක්‌ දිය නොහැකි නිසාවෙනි.

එම කෘතිය පන්සිල් පිළිබඳ සාහසික විකෘතීන් දක්‌වන බව විමලජෝති නාහිමියන් වහන්සේ විසින් පෙන්වා දෙයි. මෙම කෘතිය පංචශීලය බුද්ධ භාෂිතයක්‌ නොවේ යෑයි මනාවූ කරුණු සහිතව පෙන්වා දෙන්නේය. අමතරව යමක්‌ එක්‌ කළහොත් පන්සිල් යනු බුද්ධ කාලයට පෙර පටන් දඹදිව කුරු රටෙහි කුරු ධර්මය නමින් ප්‍රකට වූ ආගමික විනය නීති සමුදායකි. පසුකාලීනව කුරු රට වැසියන්ද බුද්ධ ශාසනයට ඇතුළත් වන්නට ඇත. ඉදින් ඔවුන් මාර්ගයෙන් පංචශීලය බුදු දහමට එක්‌ වන්නට ඇති බව අනුමාන කළ හැක.

බුද්ධාගම ගෝචර වන්නේ බුද්ධිමතුන්ට නොහොත් සැබෑ ලෙසම මනස උසස්‌ පුද්ගලයන්ටයි. ඒ වාගේම බුදු දහමේ තමා කරන ඕනෑම ක්‍රියාවක්‌ සුදුසු නුසුදුසු දැයි පරීක්‍ෂා කරන්නට සුදුසු මිනුම් දඬු තුනක්‌ පිළිබඳ දක්‌වා තිබේ. ඒවා නම් තමා කරන ක්‍රියාවෙන් තමන්ට යහපතක්‌ සිදු වේදැයි බැලීම. තමා කරන ක්‍රියාවෙන් ලෝකයාට යහපතක්‌ සිදු වේදැයි බැලීම හා තමා කරන ක්‍රියාව තමා අදහන දහමට අනුකූල වේදැයි බැලීම යන ඒවායි. ඉදින් මනස උසස්‌ මිනිසුන්ට තමා කරන ක්‍රියාව මිනුම් දඬු තුනෙන් මැන බලා කරන්නට බුදු දහම මඟ පෙන්වද්දී යළි දැඩි නීති දමා පුද්ගලයා හික්‌මවන්නේ කුමකටද?

ඉස්‌ලාම් ක්‍රිස්‌තියානි වැනි ආගම් වල මෙන් බුදු දහමෙහි කිසි විටෙක අනිවාර්යයෙන් පන්සල් යා යුතුය. අනිවාර්යයෙන් බුදුන් වැඳිය යුතුය. අනිවාර්යයෙන් භාවනා කළ යුතුය යනාදී නීති පනවා නොමැතිවා සේම එවන් නීති පැනවීමේ අවශ්‍යතාවක්‌ කුමටද? ඒ අනුව තාර්කිකව ගත්තද පන්සිල් බුද්ධ දේශනාවක්‌ නොවන බව මනාව ගම්‍ය වේ.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගණිකා වෘත්තිය කිසිම විටෙක බෞද්ධ ඉගැන්වීම් සමග එකඟ නැති බවය. උන්වහන්සේ එයට උදාහරන ලෙස පෙන්වා දෙන්නේ සිරිමා නමැති අබිසරු ලියගේ මළ සිරුර බුදුන්වහන්සේ වෙන්දේසි කරමින් පෙන්වා දී ඇත්තේ ගණිකා පහස ලබන්නවුන් විනාශ වන බවය. නමුත් එම මළ සිරුර වෙන්දේසි කිරීමෙන් බුදුන්a වහන්සේ අරමුණු කළේ විනාශය නොව නිස්‌සාරත්වයයි, කතා පුවතින් ගම්‍ය වන්නේ කෙතරම් රූපයෙන් අගතැන්පත් වුවත් කෙදිනක හෝ රූපය විනාශ වීමේ එහි අස්‌ථිර බවේ යථාර්ථය මිස අන් කවරක්‌ද?

බුදු දහමට අනුව විමුක්‌තිය ඇත්තේ ලිංගික කටයුතුවලින් පමණක්‌ ඈත් වීම පමණක්‌ නොව සියලු ඉඳුරන් පිනවීමෙන් ඈත් වීමෙන් බවය. බුදුන්වහන්සේ පෙන්වා දී ඇත්තේ නිතර නිතර නාට්‍ය බැලීමද පුද්ගලයාගේ පිරිහීමට කරුණක්‌ වන බවය. එබැවින් යමෙකු නිතර නිතර නාට්‍ය බැලීමෙන් පිරිහෙනවා පමණක්‌ නොව ගණිකාවන් ඇසුර ලැබීමද පිරිහීමට කරුණක්‌ වන නමුත් බුදුන් වහන්සේ නාට්‍ය බැලීම තහනම් නොකළා මෙන්ම ගණිකා ඇසුර ලැබීමද තහනම් නොකළහ. එපමණක්‌ නොව ගණිකා වෘත්තියේ යෙදීමද තහනම් නොකළහ. එබැවින් බුදුන්වහන්සේ අවි ආයුධ වෙළෙ¹ම, මස්‌ පිනිස සතුන් වෙළෙ¹ම, වහල් වෙළෙ¹ම, මත්පැන් හා විෂ ද්‍රව්‍ය වෙළ¹ම ලෙස නොකළ යුතු කර්මාන්ත 5 ක්‌ පමණක්‌ ඇති බව දේශනා කළහ.

බුදු දහමේ විශේෂිත කරුණක්‌ වන්නේ පුද්ගල චින්තනය නීති දමා වැටකඩොලු දමා පාලනය කිරීමට උත්සාහ ගැනීම නොව අවබෝධයෙන් හික්‌මීමට පෙළඹවීමයි. බුදුන් වහන්සේ කාමභෝගී ජීවිතයේ ආදීනව පෙන්වා දුන් සේක. ඒවා නුවණැති පුද්ගලයන් විසින් තේරුම් ගනී. ඒ අනුව කටයුතු කරයි. එනමුත් ඉන් පිට පනින්නට නොහැකි සේ වැටකඩොලු බැඳීමෙන් වන්නේ පරිහානියක්‌ පමණි.

විරූපි වීම, ආබාධිත වීම යනාදී නෙයෙකුත් හේතූන් නිසා විවාහ වීමට නොහැකි වන්නන් ලිංගික කටයුතුවලින් වැළකී සිටිය යුතු වන්නේද? තවද යමෙකුගේ බිරිඳ අනතුරක්‌ හෝ ලෙඩක්‌ හේතුවෙන් ලිංගික කටයුතුවල යෙදිය නොහැකි ලෙස සදාකාලිකව ආබාධිත වුවහොත් ඔහුට බිරිඳගේ ආබාධිතභාවය නිසා ලිංගික කටයුතුවල යෙදීමට නොහැකි වීම නිසා දික්‌කසාදයක්‌ ද ලබා ගැනීමට නීතිය ඉඩ නොදෙන බැවින් ඔහු ලිංගික කටයුතුවලින් වැළකී සිටිය යුතු වන්නේද?

අප රටේ පොදු වාහනවල ගමන් කරන කාන්තාවන්ගෙන් සියයට 43 කට ලිංගික අතවර සිදු වන්නේය. දිනකට ළමා ලිංගික අතවර සිද්ධීන් 3 ක්‌ වාර්තා වන්නේය. බාල වයස්‌කාර දැරියන් වසරකට 40,000 ක්‌ ගැබ් ගන්නේය. නමුත් පෙරදිග බෞද්ධ රටක්‌ වන තායිලන්තයේ කාන්තාවන් හට රාත්‍රි කාලයේදී පවා කිසිදු කරදරයක්‌ නොමැතිව තනිව ගමන් බිමන් යා හැකි පරිසරයක්‌ ඇත. එරට රාත්‍රි කාලයේ පදික වෙළ¹මේ වැඩිපුරම යෙදෙන්නේ කාන්තාවන් වන්නේය. එවැනි පරිසරයක්‌ උදා වී ඇත්තේ එරට ගණිකා වෘත්තිය තහනම් නොවන නිසා විය නොහැකිද?

මෙම පොත ආමිස පිළිවෙතට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇතැයි චෝදනා කර ඇතත් මවිසින් කර ඇත්තේ ආමිස පූජාවන්ට පහරදීම නොව බුදුන්වහන්සේ ආමිස පූජාවන් අනුමත කර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න පෙන්වා දීමය.

විමලජෝති නාහිමියන් වහන්සේ විසින් කරනු ලබන තවත් චෝදනාවක්‌ වන්නේ බුදු සිරිත මවිසින් විකෘති කර ඇති බවය. වරක්‌ බුදුන් වහන්සේ හමුවීමේ අභිලාශයෙන් ගමන් ගන්නා එක්‌තරා ආජීවකයෙක්‌ බුදුන්වහන්සේ සමග එකම අම්බලමක රැය ගත කරද්දී පවා උදෑසන වන තුරු බුදුන්වහන්සේ හඳුනාගත නොහැකි වූ වග බුදු සිරිතේ සඳහන් වන්නේය. එක්‌ තැනක එසේ විස්‌තර කරන අතර තවත් තැනක බුදුන්වහන්සේ සතුව දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ පැවති බව සඳහන් කරයි. මේ කතා එකිනෙකට පරස්‌පර නොවන්නේද?

බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු එක්‌ සතියක්‌ බුදුන් වහන්සේ පිටදුන් බෝ ගස දෙස ඇසිපිය නොහෙළා බලා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එය සත්‍යයක්‌ නම් එම සතිය තුළ බුදුන්වහන්සේ කෑම බීම පමණක්‌ නොව වතුර පොදක්‌ හෝ බී නැත. එක විනාඩියක්‌ හෝ නිදාගෙනද නැත. ඒ වගේම බුදුන්වහන්සේ තමා සාමාන්‍ය මනුෂ්‍යයකු බව පුන පුනා බුදු සිරිතේ ප්‍රකාශ කොට තිබේ. එබැවින් ඒ පිළිබඳ පෙන්වා දීම බුදු සිරිත විකෘති කිරීමක්‌ වන්නේ කෙසේද?

නුවණැති පුද්ගලයන්ට මෙහිදී එක්‌ නිගමනයකට පැමිණිය හැකිය. එනම් වසර 2000 ක්‌ ඉක්‌මවා බුදු දහම අඛණ්‌ඩව පවත්වාගෙන ඒමේදී යම් යම් උපක්‍රම ඒ ආචාර්යවරුන් විසින් අනුගමනය කර ඇතැයි සිතිය හැක. උදාහරණ ලෙස බුදු දහම නූගත් අන්ධ භක්‌තික මිනිසුන් පිරිසක්‌ වෙසෙන පෙදෙසකට පළමු වරට හඳුන්වා දීමේදී මේ දහම දෙසා ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යයකු යෑයි කීම නූගත් පුද්ගලයා තුළ යම් අවිශ්වාසයක්‌ ඇති කිරීමට හේතු විය හැක. එබැවින් ඊට යම් ආශ්චර්යයක්‌ එක්‌ කිරීම ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට හේතු විය හැකි බැවින් එලෙස ආශ්චර්යයන් එක්‌කර ඇතැයි සිතිය හැක.

ජීවිතය ජය ගනිමු යන කෘතිය සැබවින්ම ජීවිතය ජය ගන්නා අයුරු පෙන්වාදෙන කෘතියකි. විශේෂයෙන්ම වත්මනෙහි බුද්ධ භාෂිතය යෑයි පිළිගන්නා දහමෙහි යම් යම් අඩුපාඩු පෙන්වා දෙන බුදු දහමට හිතෛෂී පොතක්‌ වශයෙන් මෙය හැඳින්විය හැක. මේ නිසාම මෙම කෘතිය 2007 වර්ෂයේදී මධ්‍යම පළාත් සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පාසල් පුස්‌තකාල පොතක්‌ ලෙස අනුමත කර ඇත.

එලෙසම සියලු බෞද්ධයන් පෙරට වඩා අවබෝධයෙන් නිමල බුදු දහම පෞද්ගලික මති මතාන්තර වලින් ගහන එසේම ඉදිරියේදී තවත් එවන් දෑ එක්‌වන තත්ත්වය හමුවේ බුදු දහම අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුය. වත්මනෙහි නිතිපතා ජනමාධ්‍යයන්හි විකාශය වන හා පළවන "බණ" යෑයි දේශනා කරන දේ තුළ බොහෝ විට පවතින්නේ ධර්මය නොව දේශකයාණන් වහන්සේගේ පුද්ගලික මතිමතාන්තර හෝ විවේචනයන්ය. මේ අනුව බලන කල ද බෞද්ධයා පෙරට වඩා විමර්ශනශීලී විය යුතුය. නාහිමියන්ම කියන පරිදි කාලාම සූත්‍රය ඒ නිදහස බුදුන්වහන්සේ විසින් දේශනා කර ඇත. තුන්කල් දුටු ඒ අසමසම ශාස්‌තෘවරයාණන් වහන්සේ එවන් කාරණා බුද්ධ භාෂිතයට ඇතුළත් කළේ මෙවන් තත්ත්ව ඇති වන බව කල් ඇතිව දුටු නිසා විය යුතුය.

ව්‍යවහාරයේ පවතින පරිදි මේ වන විට ඇත්තේ කලියුගයයි. තවත් වසර 2500 කට අඩු කාලයකදී බුද්ධ ශාසනය ලොවින් වියෑකී යයි. අවසාන කාලයේදී භික්‍ෂූන් වහන්සේ අතුරුදන් වී අතේ කහ නූලක්‌ පමණක්‌ දරාගත් භික්‍ෂු කොට්‌ඨාසයක්‌ බිහිවන බවත් ඉන් පසු බුදු දහම අතුරුදන් වන බවත් බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඉන් පසු එළැඹෙන්නේ කල්ප විනාශයයි. එතෙක්‌ කල් හෝ නිමල බුදු දහම රැක ගත යුතු වේ. ඒ සඳහා තම තමන්ගේ නිදහස්‌ චින්තනය වර්ධනය කර ගත යුතුය. ඒ සඳහා මෙවන් කෘතීන්ගෙන් ලැබෙනුයේ මහඟු පිටුබලයක්‌ බව නොකිවමනාය.
එම්. එච්. අබේසිංහ
                      

2 comments:

  1. බුදුන් වහන්සේ ගේ දහම යනු ඉන්දියානු ශිෂ්ඨාචාරයේ මුදුන් මල් කඩයි.....උන් වහන්සේට එම දහම "සොයාගැනීමේදී" ඒ වන විට ඉන්දියානු ශිෂ්ඨාචාරයේ පැවති බොහෝ යහපත් දේ උකහාගෙන තිබෙනවා..........පඤ්චශීලය එවැනි එක් උකහාගැනීමක්. බුදු දහම සහ සිදුහත් චරිතය විචාරශීලීව හදාරන්නකුට එවැනි උකහා ගැනීම් ඕනෑ තරම් සොයා ගත හැකියි......පඤ්චශීලය අනිවාර්යයෙන්ම පූර්ව බුද්ධ සංකල්පයක්...

    ReplyDelete
  2. උන්වහන්සේ එය සිය ශීල දූරාවලියේ ඉතාමත් ප්‍රශස්ථ ලෙසින් ස්ථානගත් කොට තිබෙනවා....පන්සිල් යනු සදාචාරය යන්න සාර්ථකව හඳුණාගත් ඕනෑම සමාජයක්, ශිෂ්ඨාචාරයක්, වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වන විට ඉබේම සාක්ශාත් කරගන්නා දෙයක්. බුද්ධොත්පාද කාලයක් යනු එවැනි සම්මතයන් නිර්මාණය වන වටපිටාවක්...උතුම් ඥාණයක් අපට හමුවන්නේ සමස්ථ ශීල ධූරාවලිය නිර්මාණය වීම තුළයි......සිදුහත් ගියේ සත්‍යය "ගවේශණය" කරමින් බව අද බොහෝ දෙනාට අමතකයි.....මේ පොත මා කියවා නැහැ...නමුත් පන්සිල් පූර්ව බුද්ධ ආචාර ධර්ම පද්ධතියන් වග මටත් විශ්ලේශණය වූ කරුණක්....බුදු දහම සඳුන් කැටක් වැනි දෙයක්....සොයන්නට සොයන්නට, විචාරන්නට විචාරන්නට තමයි එහි සුවඳ මතු වන්නේඅ.....ඔබ විචාරශීලීව බුදු දහම දෙස බැලීම අගයනවා...එය කිරිබත්ගොඩ කල්ලියෙ විකෘති කිරීම් වලට වඩා සාධාරණ උත්සාහයක් වන්නට ඇතැයි සිතනවා..........

    ReplyDelete